www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

ඔබගේ කැමැත්ත වේවා! - මාගේ කැමැත්ත වේවා!

"වනාන්තරයේදී අධික ලෙස තෘස්නාවට අසුවී, ඔවුන් කාන්තරයේදී දෙවියන්වහන්සේ පරීක්‍ෂා කළෝය. උන්වහන්සේද ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ඨකළ සේක; නුමුත් ඔවුන්ගේ ආත්මය කෘෂ භාවයට පැමිණුන සේක".
- ගීතාවලිය 106: 4 - 15

යාඥාවේ අනෙක් පැත්ත ගැන කථා කිරීමට අදහස් කලේ, ඇදහිලිවන්තයන් වන අපිට /යාඥාව සාමාන්‍යය දෙයක් වීමේ හේතුව නිසාම පමණක් නොව නුමුත් බොහෝවිට ඒ ගැන හරි අවබෝධයක් අපටත් නොමැති වීමේ හේතුවද පෙන්වාදීමටයි.

දෙවියන් සමග සම්බන්ධවීමට ඇති එකම මාර්ගය ලෙසින් ඇති මේ "යාඥාව යන මාර්ගය" හරි අවබෝධයකින් යුතුව නිවැරදි නොකිරීම තුලින් අපට කිසිවක් ලබාගත නොහැකි බවත්, එසේම එවැනි උත්සාහයන් හිස්වූ ව්‍යායාමයන් පමණක් බවත් බයිබලය තුළින් දෙවියන්වහන්සේම පවසා සිටියි.

දේව මාළිගාව අභියස රැඳී සිටිමින් දෙවියන්වහන්සේට යාඥා කරමින් සිටි සමහර ආගමික නායකයන් දෙස බලා ඔවුන් කරන යාඥාව මෙන්ම ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියේ පෙනීසිටින ආකාරය ගැනත් සතුටු නොවූ යේසුස් වහන්සේ ඔවුන්ට දොස් පැවරු බව ශුභාරංචි පොත්වල ඇති වාර්තා පැහැදිලිව පෙන්වාදෙයි.

එවැනි අවස්ථාවකදී "එසේනම් ස්වාමීනී, යාඥා කළ යුත්තේ කෙසේදැයි?" යනුවෙන් උන්වහන්සේගේ ගෝලයන් පවා ඒ ගැන යේසුස් වහන්සේ ගෙන් විමසා සිටිය ආකාරය තුලින් පවා පෙනෙන්නේ, යාඥාව යන ඒ මාර්ගය තුලින් දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධවීමට හැකි නිවැරදි ක්‍රමය ගැන හරි අවබෝධයක් ගෝලයන්ට පවා නොතිබුන බවයි.

යේසුස් වහන්සේගේ ගෝලයන් එදා උන්වහන්සේ ගෙන් අසා සිටි ඒ ප්‍රශ්ණයට යේසුස් වහන්සේ දුන් පිළිතුර වුයේ, ඒ අරමුණ "ඔබගේ කැමැත්ත වේවා" යන පරමාර්ථයෙන් පමණක් කලයුතු එකක් බවයි.

පරිසිවරුන් ලියන්නන් මෙන්ම පුජකයන්ද වූ මේ දේව සේවය වෙනුවෙන් කැපවී සිටිය කණ්ඩායම විසින් දෙවියන්වහන්සේ ඉදිරියේ කරන ඒ යාඥාව පෙන්වාදෙමින් යේසුස් වහන්සේ තම ගෝලයන්ට පෙන්වාදුන්නේ, දෙවියන්වහන්සේට සම්බන්ද වීමේදී ඒ ක්‍රියාව අවංකව පමණක් නොව නුමුත් දේව වචනය පෙන්වාදී ඇති ආකාරයටත් සිදුනොවන්නේ නම් ඉන් ඵලක් නැති බවත් පෙන්වාදීමයි. එබැවින් "යාඥාව" දෙවියන්වහන්සේව නමස්කාර කිරීම වෙනුවෙන්ද ඇති "එකම මාර්ගයද" වන නිසා එය හරි අරමුණින් යුතුව, එනම් "මාගේ" කැමැත්තට අනුව නොව නුමුත් "දෙවියන්වහන්සේගේ කැමැත්ත වේවා!" යන අරමුණින් කල යුත්තක් බවයි.

දෙවියන්ට කරන යාඥාව ගැන යේසුස් වහන්සේ පෙන්වාදුන් මේ අරමුණ, එදා මෙන්ම මේ අදටත් වෙනස් නොවී එකසේ පවතින බැවින් ඇදහිලිවන්තයන් වන අපත් "දෙවියන්වහන්සේගේ කැමැත්ත වේවා " යන ඒ සීමාව තුල රැඳී සිටිමින් යාඥා කිරීමට ඉගෙන ගැනීමේ අවශ්‍යයතාවය පැන නගියි. එසේ පැවසීමෙන් යේසුස් වහන්සේ පහදා දුන්නේ, අපගේ ඇදහිල්ල මෙන්ම යාඥාව පවා "දේව කැමැත්තට අනුකුලව" සිදුවිය යුතු එකක් බවයි.

යේසුස් වහන්සේ විසින් තම ගෝලයන්ට පෙන්වාදුන් මේ වෙනස තේරුම් ගෙන ඒ අනුව අපගේ ආත්මික ජීවිතයත් ගොඩනගා ගැනීම අවශ්‍යය වන්නේ, ස්වර්ගයේ වැඩසිටින අපගේ දෙව් පියාණන්ගේ කැමැත්තට අනුව පමණක් මොලොව සිදුවන සියලු ආත්මික දේවල් ගොඩනැගෙන හේතුව උඩයි. එබැවින් මාගේ කැමැත්ත මුල් කරගෙන අපිත් ඒ පරිසිවරයන් ලෙසින් බොහෝ දේ කිරීමට පුරුදුව සිටියත්, දෙවියන්වහන්සේගේ කැමැත්ත අප තුල සිදුවනවා දැකීමට කැමතිනම්, යේසුස් වහන්සේ පෙන්වාදුන් ලෙසින් ඔබගේ කැමැත්ත වේවා යන පරමාර්ථයෙන් අපගේ ආත්මික ජීවිතය හරිගස්සා ගැනීමට අපටත් සිදුවෙයි.

ඇදහිලිවන්තයන් වන අපට දෙවියන් වෙතට සම්බන්ධ විය හැකි එකම මාර්ගයද එය පමණක් වන බැවින් එය නිවැරදිව කරන්නේ කෙසේදැයි කියා ඒ ගැන යේසුස් වහන්සේ තම ගෝලයන්ට (මෙන්ම උන්වහන්සේගේ ඇදහිලිවන්තයන් වන අපටත්) පෙන්වාදුන්නේද එය නිවැරදිව කිරීමට ඉගෙන ගන්නා පිණිසයි.

යාඥාව යන ක්‍රියාවේ අරමුණ, "ඔබගේ කැමැත්ත වේවා" යන අරමුණෙන් පමණක් වියයුතු බවට එදා යේසුස් වහන්සේම විසින් පෙන්වා දී තිබුණත්, වර්තමානයේදී ඒ අරමුණ, "මාගේ කැමැත්ත වේවා" යනුවෙන් වෙනස්වී ඇති හැටිද පැහැදිළිව පෙනෙයි.

එය පෙන්වාදෙන්නේ වර්තමානයේ ඇදහිලිවන්තයන් වන අප කිරීමට පුරුදුවී සිටින යාඥාවත් එදා සිටි ඒ පරිසිවරයන්ගේ යාඥාව මෙන් "මාගේ" කැමැත්ත සිදු වේවා! යන අරමුණට වෙනස් වී ඇති බවයි.

එසේ වීමට ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ "යාඥාව" යන ඒ දෙවියන්ට සම්බන්ධ විය හැකි මාර්ගය නවීකරණය වී එහි සැබෑ අර්ථය අපෙන් ගිලිහි ගොස් තිබීමයි. ඇදහිලි වන්තයන් වන අප වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ එකම කැමැත්ත වන්නේ අපි යාඥාව තුලින් උන්වහන්සේ නමස්කාර කිරීම දැකීම මෙන්ම ඒ තුලින් උන්වහන්සේව හඳුනා ගැනීමට පැමිණීම වුවත්, දෙවියන්ට සම්බන්ධ වීම නමැති ඒ ක්‍රියාවේදී ඒ මාර්ගයේ එක පැත්තකට පමණක් අපගේ අවධාණය යොමුවී තිබෙණු පෙනෙයි.

ඒ අනුව දෙවියන් මුණගැසිමේදී උන්වහන්සේගෙන් ඉල්ලා සිටීම වෙනුවෙන් පමණක් අපි යාඥා කිරිමට උනන්දු වෙමින් එය කලත් මෙහිදී යාඥාවේ පළමු අරමුණ අපි සම්පුර්ණයෙන්ම නොසළකා හරිමින් එය අමතක කරමින් සිටිනා බව අමතක කරගෙන සිටියි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වාදෙන නිවැරදි යාඥාව තුල ඒ අරමුණට පැති දෙකක් තිබෙනු පෙනෙයි. ඒ අනුව මිනිසුන් හැටියට අපි දිනපතා ක්‍රියාවට නංවන "මාගේ කැමැත්ත වේවා" යන ලබාගැනීම මුල්වූ ඒ "වරප්‍රසාධය" ක්‍රියාවට නැංවීමට පෙර; අප එකිනෙකා "ඔබගේ කැමැත්ත පමණක් වේවා " යනුවෙන්ද ඇති ඒ දේව ආඥාවටත් අවනතවී එය කල යුතු බවත් අමතක නොකළ යුතුයි.

බොහෝ ක්‍රිස්තු ඇදහිලිවන්තයන්ට යාඥාව අළුත් දෙයක් හෝ එය විශේෂ ඉගැන්වීමක් නොවන්නේ, "යාඥාව" ඒ තරම් දුරට අප අතර සාමාන්‍යය දෙයක් බවට පත්ව තිබීමේ හේතුවයි. ඒ අනුව යාඥාව ගැන කරණ ඉගැන්වීම් වලට පවා අපි ඇහුන්කම් දීමට හෝ ඒ විෂය කෙරෙහි අවධානය යොමුකිරීමට හෝ අප උනන්දු නොවන්නේද, යාඥාව යන ඒ මාතෘකාව ක්‍රිස්තු ඇදහිලිවන්තයන් වන අප හොඳින් දන්නා හඳුණන විෂයක් වී තිබීමයි.

නුමුත් මෙහිදී අපෙන් බොහෝ දෙනෙක් තේරුම් නොගෙන සිටින විශේෂ කාරණය වන්නේ, ඒ හේතුවම අපව දෙවියන් ගෙන් ඈත් කිරීමටත් හේතුව වී තිබෙන බවත් නොදැන සිටීමයි. යේසුස් වහන්සේගේ පැත්තෙන් බැලීමේදී, අපෙන් බොහෝ දෙනෙක් එදා යේසුස් වහන්සේ විසින් හෙලා දුටුව ඒ ආගමික නායකයන්ගේ ආත්මික තත්වයටම වැටි සිටිනා බවත් නොදැන ජීවත්වෙයි.

එසේ පැවසීමෙන් මා අදහස් කළේ අපගේ යාඥාව මෙන්ම දෙවියන් සෙවීමේ හේතුවද එදා සිටි ඒ ආගමික නායකයන් වූ පරිසි වරයන් ලෙසින්ම වෙනස්වී තිබුනත් ඒ වෙනස්කම තේරුම් නොගෙන ආත්මික ජීවිතය ගෙනයාම ගැනයි.

වර්තමානයේ ඇදහිලිවන්තයන් වන අප කරනු ලබන "යාඥාව" ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදී පවතියි.

1. ඇදහිලිවන්තයෙක් වෙනත් පුද්ගලයෙකුගේ උවමනාවක් වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම ලබාදෙන ලෙසින් දෙවියන්ට කරණ යාඥාව.

2. ඇදහිලිවන්තයෙක් තමාගේ පුද්ගලික උවමනාවන් වෙනුවෙන් තමාගේ ඉල්ලීම ලබාදෙන ලෙසින් දෙවියන්ට කරණ යාඥාව.

මේ කාරනා දෙකට අමතරව යාඥා කිරීමට හේතුවන වෙනත් හේතුවක් අපෙන් බොහෝ දෙනෙකුට නොවෙයි. ඒ අනුව මෙසේ අපගේ යාඥාව "මාගේ කැමැත්ත" ලබාගැනීම හෝ තව කෙනෙක් තුලින් හෝ එය ලබා ගැනීමේ අරමුණින් පමණක් සිදුවෙයි. එයින් පෙනෙන්නේ ඒ තුල දෙවියන් සෙවීම හෝ දෙවියන් නමස්කාර කිරීමය යන අරමුණ වූ " ඔබගේ කැමැත්ත වේවා" යන දෙවියන්වහන්සේගේ ආඥාව මුල්කරගත් පැත්ත අපෙන් ගිලිහි ගොස් ඇති බවයි. ඒ නුමුත් ඇදහිලිවන්තයන් වන අපත් එදා සිටි ඒ පරිසියන් මෙන් ජිවත් වන්නේ, ඒ කොටස අපගේ ජිවිතයට වැදගත් නොවෙනා ගානටයි.

මාගේ කැමැත්ත වේවා යන අරමුනේ ඇති අපට නොපෙණෙන පැත්ත.

"ඔබගේ කැමැත්ත වේවා" යන අරමුණින් බැහැරව ඒ වෙනුවට "මාගේ කැමැත්ත වේවා" යන අරමුණ පමණක් පෙරදැරි කරගෙන කරණ යාඥාව තුළ අපට නොපෙණෙන තවත් භයානක පැත්තක්ද තිබෙයි. හේතුව ඔබගේ කැමැත්ත කෙසේ වෙතත් මාගේ කැමැත්ත වේවා යනුවෙන් කරන ඉල්ලීම් වලට ලැබෙන අවසාන ප්‍රතිපලය බොහෝවිට ඇදහිල්ලට සහ අපගේ ආත්මික පැත්තටත් භාධා ගෙනදිමයි.

උදාහරණ ලෙසින්; මාගේ කැමැත්ත වේවා යන යාඥාව ඉල්ලීම් මුල්කරගත් යාඥාවන් වන බැවින්, ඒවා මරණීය ලෙඩකට සුවය වෙනුවෙන් හෝ නැතිවම බැරි මුදල් අවශ්‍යයතාවයකට අවශ්‍යය මුදල් ලබාගැනීම වෙනුවෙන් කරන ඉල්ලීමක් හෝ වෙනත් එවැනි දෙයක් ලබා ගැනීම වෙනුවෙන් සිදුවන්නක් විය හැකියි. නුමුත් මෙහිදී ගැටලුව මතුවන්නේ, අප හුදෙක් බැගෑපත්වෙමින් දෙවියන් ගෙන ඉල්ලා සිටි ඒ ඉල්ලීමට අප බලාපොරොත්තු වූ ආකාරයට පිළිතුරක් නොලැබී යන විටයි. .

මාගේ ඉල්ලීම කෙසේ හෝ ඉටුකරදෙන්න යනුවෙන් අප කර ඉල්ලීමට දෙවියන් ගෙන් පිළිතුරක් නොලැබුණු විටදී එය දෙවියන්වහන්සේ කෙරෙහි අප තුළ තිබුන විශ්වාසයට විරුද්ධව ක්‍රියාවට නැගෙන්නේ උන්වහන්සේගෙන් පිළිතුරක් නොලැබුන හේතුව මුල් කරගෙනයි. උදාහරණ ලෙසින්;

අප දෙවියන්ගෙන් බැගෑපත් වෙමින් ඉල්ලා සිටිය සුවය නොලැබී ලෙඩා මළොත්; දෙවියන් කෙරෙහි වූ විශ්වාසය තවදුරටත් එලෙසම පවතියිද? නැතිනම්, දෙවියන් කෙරෙහි වූ අපගේ විශ්වාසයත් ඒ ආකාරයෙන්ම අප තුලිණුත් මිය යයිද?

බලාපොරොත්තුවූ මුදල කලට වෙලාවට නොලැබීම නිසා, බලාපොරොත්තුවූ දෙය රැක ගැනීමට අපොහොසත් වු විට; දෙවියන් ඉදිරියටත් විශ්වාස කරමින් ජිවත් වන්නේද? නොඑසේනම් දෙවියන් කෙරෙහි තවදුරටත් විශ්වාස කිරීමෙන් වැලකි සිටීමට තීරණය කරන්නේද?

මාගේ කැමැත්ත වේවා! යනුවෙන් කරන ඉල්ලීම් වලට පිළිතුරු ලබාගැනීම වෙනුවෙන් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා බලාපොරොත්තුවී සිටිනා විට, යම් හෙයකින් අප බලාපොරොත්තු වූ ලෙසින් යාඥාවට පිළිතුරු නොලැබී යන විටදී, ඒ සමගම දෙවියන්වහන්සේ කෙරෙහි අප තුල තිබෙන විශ්වාසය සහ ඇදහිල්ල අභියෝගයට ලක්වන්නේ, දෙවියන් සෙවීමේ අරමුණ නමස්කාර කිරීම වෙනුවෙන් නොව නුමුත් ලබාගැනීම වෙනුවෙන් පමණක් ඇති වුවක් වීමේ හේතුවයි.

එවිට දෙවියන් කෙරෙහි තිබු විශ්වාසයද සෙලවීමට පත්වන්නේ අපගේ ඇදහිල්ල මෙන්ම විශ්වාසයත් ලබාගැනීම නමැති ඒ බලාපොරොත්තුව මත පමණක් ගොඩනැගී තිබීමේ හේතුවයි. එවැනි අවස්තාවන් තුළදී අරමුණ අභියෝගයට ලක්වෙයි. දෙවියන් කෙරෙහි තවදුරටත් බලාපොරොත්තු තැබිය හැකිද? යන ප්‍රශ්ණය ඇදහිල්ලට බලපෑම් ඇතිකරයි.

නුමුත් යාඥාව "ඔබගේ කැමැත්ත වේවා" යන අරමුණින් අපමණක් සිදුවන විටදී සිදුවන්නේ; දෙවියන්වහන්සේගේ කැමැත්තට මුල් තැනදී උන්වහන්සේගේ කැමැත්ත නම් පමණක් ඒ ඉල්ලීම ඉටුවේවා යන බලාපොරොත්තු වෙන් පමණක් ඉල්ලා සිටීමයි. එවිට ප්‍රතිපලය කුමක් වුවත් එය ඇදහිල්ල හෝ දෙවියන් කෙරෙහි ඇති විශ්වාසයට අභියෝගයක් නොවෙයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත පමණක් අපගේ ජිවිත තුල සිදුවේවා යන බලාපොරොත්තුවෙන් උන්වහන්සේට කිකරුවීමට අපි උන්වහන්සේගේ හස්තයට අපගේ ජිවිත මෙන්ම අනෙක් සියල්ලද යටත් කරමින් ජීවත්වීමට තීරණය කිරීමේදී අප දෙවියන් සොයන අරමුණ මෙන්ම උන්වහන්සේ ඉදිරියට යන අරමුණත් වෙනස් අරමුණකින් ක්‍රියාවට නැගෙයි.

එවිට අප දෙවියන් සොයන්නේ උන්වහන්සේට කිකරුවී ජිවත්විමටයි. උන්වහන්සේට ස්තුති පුජා පැවැත්වීමටයි. උන්වහන්සේ නමස්කාර කිරීමටයි.

ඔබගේ කැමැත්ත පමණක් මාගේ ජිවිතයේ සිදුවේවා යන අරමුණින් යම්කිසි පුද්ගලයෙකු දෙවියන් සොයන්නේ ජීවිතය ඉදිරියට ගෙනයාමට අවශ්‍යය මඟ පෙන්වීම දෙවියන්ගේ කැමැත්තට අනුව සොයා ගන්නා පිණිසයි. ඒ තුලින් ඔවුන් බලාපොරොත්තුවන්නේ දෙවියන්ගේ ඒ කැමැත්ත සොයාගෙන ඉන්පසු දෙවියන්ගේ ඒ කැමැත්තට අනුව කීකරුවී ජිවත්විමටයි.

මේ සියල්ල සිදුවන්නේ, උන්වහන්සේගේ කැමැත්ත පමණක් මාගේ ජිවිතයේ සිදුවේවා යන ඒ සීමාව තුලින් පමණක් බැවින්, එහිදී ඉල්ලීම් වලට වඩා දෙවියන්වහන්සේගේ කැමැත්ත අප තුළ ප්‍රධාන තැනක් ගනියි. එවිට යාඥාවේ ප්‍රතිඵල කුමක් වුවත්, එය උන්වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ලට හෝ විශ්වාසයට අභියෝගයක් හෝ බලපෑමක් සිදු නොකරයි.

එදා යේසුස් වහන්සේ යාඥාව ගැන තම ගෝලයන්ට පෙන්වා දුන්නේ ඒ පැත්ත ගැනයි.

මෙවැනි දුර්වලකම් ඇදහිලිවන්තයන් වන අප අතින් පවා සිදුවන්නේද , ඒ ගැන දේව වචනය පෙන්වාදී ඇති සත්‍යය නොදැන සිටීමත් ඒ වෙනුවට අප වටා ගොඩනැගී ඇති ආගමික චාරිත්‍රය අනුගමනය කිරීමටත් අපිත් පුරුදුවී සිටීමයි.

මොලොව ජිවත්වන අපට දෙවියන් ඉදිරියට යාමටත් උන්වහන්සේව නමස්කාර කිරිමටත් මෙන්ම උන්වහන්සේ ඉදිරියේ අපගේ හදවත් වැගිරවිමටත් හැකි එකම මාර්ගය වන්නේ යාඥාවයි. ඒ නුමුත් දෙවියන් සමග සහභාගී වීමට අපට ඇති ඒ එකම මාර්ගය අපි වෙනස්කරගෙන ඒ වෙනුවට ආගමික සංස්කෘතිය අනුගමනය කිරීමටත් ලෝකයාගේ පුරුදු අනුගමනය කිරීමටත් යන්නේ නම්, එයින් අපිට ප්‍රතිඵල නොලැබෙන්නේ උන්වහන්සේ අපගේ ඒ ක්‍රියාවට අවධානය නොකරන හේතුවයි. යේසුස් වහන්සේ තම ගෝලයන්ට පවසන්නේ ඒ ගැනයි.

ඇදහිලිවන්තයන් දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව උන්වහන්සේ වෙතට සම්බන්ද නොවන්නේ නම්, අප කරන යාඥාව පමණක් නොව නුමුත් ආත්මික යැයි අප සලකන අනෙක් සියලු ක්‍රියාවන්ද හිස්වූ ක්‍රියාවන් මෙන්ම නිකම්ම නිකම් වචන පෙළක් පමණක් වන බවත් පෙන්වදෙමීන් යේසුස් වහන්සේ තම ගෝලයන්ට තේරුම් කරදීමට උත්සාහ කරන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට මුල්තැනදී උන්වහන්සේගේ වචනයට කීකරුව ජීවත්වීමේ අවශ්‍යයතාවය අන් සියල්ලටම වඩා සැබෑ ඇදහිලිවන්තයාට ප්‍රධාන වන බවත් පෙන්වාදීමටයි.

පරිසිවරයන් ආගමික නායකයන් වුවත් ඔවුන්ගේ පුද්ගලික ජිවිත රටාව දෙවියන්වහන්සේගේ කැමැත්තට (දේව වචනයට ) පටහැනිව තිබීම ඔවුන්ගේ ඔවුන් කරන යඥාවට පමණක් නොව නුමුත් දෙවියන් වෙතට සම්බන්ද වීමටත් එරෙහිව බලපෑ බවත් අපි මෙහිදී තේරුම් ගතයුතුයි.

යේසුස් වහන්සේ පැවසු ලෙසින්, "අත්ත මිදිවැලට සම්බන්ද නොවන්නේ නම්, එයට තනිවම ඵල දැරීමටත් නොහැකි වන්නාක් මෙන්", අපත් අපගේ හදවතින් අවන්කවී දෙවියන්වහන්සේටත් උන්වහන්සේගේ වචනයටත් කීකරු නොවී ජිවත් වන්නේ නම්, අප කරන අනෙක් සියල්ලද සාමාන්‍යය ආගමික චාරිත්‍ර පමණක් බවත් තේරුම් ගැනීමට යේසුස් වහන්සේගේ මේ ඉගැන්වීම අපට උපකාරී වෙයි. .

එබැවින් ඇදහිලිවන්තයන් වන අප කිරීමට ආත්මික ජීවිතය වෙනුවෙන් කිරීමට පුරුදුවී සිටින ආගමික චාරිත්‍ර ගැනත් මොහොතක් කල්පනා කර බලා, සියල්ලට පළමුවෙන් අප කරනා ඒ දේවල් දේව වචනයට අනුවද අප කරන්නේ? කියා සොයා බැලීමට මෙය අවස්ථාවක් කරගන්නේ නම් එයත් අපගේම ආත්මික ජිවිතයේ දියුණුවට හේතුවක් වෙයි.

දෙවියන්වහන්සේට සම්බන්ද වී ජිවත්වන පිණිස දේව වචනය කියවා බලා දෙවියන්වහන්සේට කිකරුවිම තුලින් පමණක් අපට දෙවියන් වෙතට සම්බන්දවි ජීවත්වීමටත් එසේම ඒ තුලින් දෙවියන්ගේ පිහිට සොයා ගැනීමටත් හැකිවෙයි.

(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.